වෙනදට ටිකක් කලින් එන කුරුලු අමුත්තො ටික මෙදා පාර ටිකක් පරක්කු වෙලා වගේ. කාල වේලාව හරියටම නිර්ණය කරගන්න උන්ටත් බැරිවුනේ කාලගුණික විපර්යාස නිසා වෙන්න පුලුවන්. මේ සංචාරක පක්ෂීන් එනකන් බලන් ඉන්න සෙට් එකක් ලංකාවෙත් ඉන්නවා. පරක්කු වුන හේතුව මොකක් වුනත් ඔන්න දැන් නම් බොහොමයක් විශේෂ ලංකාවට ඇවිල්ල අවසන්.
ලංකාවට හැම අවුරුද්දෙම දෙසීයකට අධික සංචාරක පක්ශීන් ප්‍රාමාණයක් අහාර හා නවාතැන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තෝර ගන්නවා. වනාන්තර පක්ශීන්, උකුසු විශේෂ වගෙම කලපු පක්ශීන් රාශියක්ම ශීත ඍතුවට මාස කිහිපයක්ම මෙහෙ නවාතැන් ගන්නවා.
ඒ අතරින් උතුරු ඉන්දියාවෙන් ගමන් පටන් ගන්න අවිච්චියා (Indian Pitta). මේ අවුරුද්දෙත් වෙනදා වගේම කල වෙලාවට ලංකාවට ආවා. බොහෝ වෙලාවට කැලෑ තුල වගේම ගෙවතු ආශ්‍රිතවත් බලා ගන්න පුලුවන් කුරුල්ලෙක් තමයි අවිච්චියා කියන්නෙ. "ආයිත් දියන් - ආයිත් දියන්" කියන වචන ටික තවත් ටිකක් ඇදලා තාලෙට විසිල් එකක් ගහලා බලන්න ඌ රිප්ලයි විසිල් එකක් ඒ තාලෙටම දෙනවා ශුවර්. ඊට අමතරව සුදු රෙදි හොරා වගෙම සිවුරු රෙදි හොරාවත් (Paradise Flycatcher) මේ කාලෙදි නිවාස ආශ්‍රිතව දැක බලා ගන්න පුලුවන්.
ඒ වගෙම හම්බු කුරුලු විශේෂ (Warblers) මැසිමාරාවන් (Flycatchers), නිල් පෙද බිගුහරයා (Blue Tailed Bee Eater), හිසරන් තිරසිකයා (Orange Headed Thrush), නිල් සිටිකිච්චා (Indian Robin) වගේ පක්ශීන් නම් ටිකක් වනාන්තර අශ්‍රිත ප්‍රදේශවල තමා තාවකාලිකව නවාතැන් ගන්නෙ. මේ දවස්වල දඹුල්ල සීගිරිය වගේ වියලි කලාපයට අයත් වනාන්තර තුලදි මේ පක්ශි විශේෂ බලා ගන්න ලොකු අමාරුවක් නෑ.
හැම අවුරුද්දෙම නොවැම්බර් අන්තිම හෝ දෙසැම්බර් මුල මන්නාරමට එන සියක්කාරයො (Flemingos) එන්න නම් ටිකක් විතර පරක්කු වුනාට ඔන්න දැන් මන්නාරම් කලපුවට ඇවිල්ලා ඉන්නවා. උදෑසන කාලයේ වතුර ආශ්‍රිතවත් දහවල් වන විට සෙවණක් සොයා ඒ ආශ්‍රිත ගස් වෙතත් යන නිසා උදෑසනම ගියොත් තමයි මේ අයව ලේසියෙන්ම බලාගන්න පුලුවන් වෙන්නේ. කුරුළු උණ තියෙන ලංකාවේ අයට සිත් ඇද ගන්නා සුළු වර්ණ සහිත සියක්කාරයො දහස් ගානක් කලපුවෙ වතුරෙ ඉන්නවා දකින තරම් සතුටක් නෑ කියලා තමයි කුරුළු උණකාරයො කියන්නෙත්.
මන්නාරම දුරයි වගේ නම් සංචාරක පක්ශීන් නිරික්ෂණයට කැමති කෙනෙක්ට මතුගමට ගියොත් අටු වැහිලිහිණියො (Barn Swallow හෙවත් Common Swallow) දහස් ගණනක් බලා ගන්න පුලුවන්. ඔරලෝසු කණුව හා ඒ අවට ප්‍රදේශ වලට හැම අවුරුද්දෙම එන අටු වැහිලිහිනියො මාස හතක් හෝ අටක් ලංකාවෙ රැදෙනවා කියලා පරිසරවේදීන් හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම විදුලි රැහැන්වල අටු වැහිලිහිණියො හැත්තෑදහසක් පමණ වහලා ඉන්නවා බලා ගන්න පුලුවන් කියලා කුරුළු විද්‍යාඥයො ඇස්තමේන්තුගත කරපු වාර්තා වලත් තියෙනවා.
මීට අමතරව සිලිබිල්ලන් (Sandpiper) විශේෂ, දියඹලිහිණි (Terns) විශේෂ, කොක්කු (Egreats) විශේෂ, සේරු (Duck) විශේෂ වගේම තවත් ජලාශ්‍රිත පක්ශීන් විශේෂ කිහිපයක්මත් ලංකාවට ඇවිත් ඔවුන්ගේ සීත කාලය ගත කරලා යනවා.
සීත කාලයේ කෑම ජාති වගෙම වාසස්ථානයන් අඩු වීම නිසා යුරෝපය, ඇමෙරිකාව, අප්‍රිකාව, රුසියාව වගේ බොහෝ දුර බැහැර සිටත්, අසල්වැසි ඉන්දියාවේ සිටත් සංචාරක පක්ශීන් ලංකාවේ නවාතැන් ගන්න එනවා. මොවුන් තමන්ට ආවේණික වූ ගමන් පත හරහා පැමින ලංකාව තුලට ඇතුලු වන්නේ මන්නාරම, කල්පිටිය හා ත්‍රිකුණාමලයෙන්.
හැම අවුරුද්දෙම සීත කාලෙට ලංකාව හොයන් එකම ගුවන් මාර්ගයක එන්න දැනීමක් උන්ට ආවෙ කොහොමද කියලා විවිධ මත තිබුනත් තාම විද්‍යාව හරියටම ඒක හොයාගෙන නෑ. පෙනීම, ශබ්දය, පෘථිවි චුම්භකත්වය, වගෙම සහජයෙන් ලැබෙන දැනුම එයාලගෙ ගමන් මාර්ගය නිශ්චිතව දැන ගැනීමට යොදා ගන්නවා කියලා තමා විශ්වාස කරන්නෙ. එහෙත් ඔවුන් සෑම වසරකම නවාතැන් ගන්නෙත් එකම ස්ථානයන් ආශ්‍රිතව බවත් හොයාගෙන තියෙනවා.
කැලෑ එලි පෙහෙලි කිරීම නිසා නැවත පැමිණෙන විට ඔවුන්ගේ නවාතැන් වෙනස් වීම හේතුවෙන් ලංකාවට එන සංචාරක පක්ෂීන්ට ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගෙ සුපුරුදු ගමන් පථය ආශ්‍රිතව ඉදි කර ඇති උස ගොඩනැගිලිවල වීදුරුවල වැදීත් මොවුන් මිය යන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා.
මේ ඔක්කොම චර්යා රටාවන් නිරීක්ෂණය කරන්න නම් හොද අවධානයකින් ඔවුන් දිහා බලා ඉන්න එකයි අත්‍යවශ්‍ය. පක්ෂි නිරීක්ෂණය (Bird Watching) කියන්නෙ ලංකාවෙ එතරම් ප්‍රසිද්ධ නොවුනත් වෙනත් රටවල්වල සුපිරි විනෝදාංශයක්. උදේ පාන්දර ගිහිල්ලා කුරුල්ලො බලලා පින්තූර ටිකක් අරගෙන එනවා කියන්නෙ හිතට නිදහසක් දෙන, ආස හිතෙන විනෝදාංශයක්. කවුරු හරි එක පාරක් පක්ෂි නිරීක්ෂණය පටන් අරන් කුරුලු විශේෂ අදුර ගන්න උත්සහ කලොත් ඔහු ජීවිත කාලයටම එයට ඇබ්බැහි වෙන්න තරම් සිත්ගන්නා සුළු විනෝදාංශයක් තමයි මේක.
ඉතින් රෝන්දෙ යන වෙලාවක කුරුල්ලො බලන්න පටන් ගත්තොත් රෝන්දෙ තියන වටිනාකම තවත් වැඩි නිසාත් මේ සංචාරක කුරුලු සමය නිසාත් කුරුල්ලො බලන්න අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට වුනත් හොදම කාලයක් තමයි මේ. මේ දවස්වල මන්නාරමට ගියොත් දහස් ගානක් රෝස පැහැ සියක්කාරයො බලා ගන්න වගෙම මතුගමට ගියොත් දහස් ගානක් අටු වැහිලිහිනියො බලා ගන්නත් පුලුවන්. කොහෙවත් යන්න වෙලාවක් නැති කෙනෙක්ට ගෙවතු ආශ්‍රිතව ඇවිත් ඉන්න කුරුල්ලො හරි බලන්න පුලුවන්නෙ.
සංචාරක පක්ෂී නිරීක්ෂණයෙදි ලබපු සුපිරිම අත්දැකීම් තමයි ලංකාවෙ වාසය කරන පක්ෂීන්ගෙ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම. මාස කිහිපයකට තමන්ගෙ වාසස්ථාන වලට ඇවිත් ඉන්න මේ අමුත්තො එක්ක වලියක් නොදාගෙන ආතල් එකෙ කැලෙත් බෙදාගෙන ඉන්න ලෝකල් කුරුල්ලො තමා මේ අතරින් පට්ටම සෙට් එක..!
| තරූ පිටිගල
#ROONDEEP17
#ithinmagazine
පසුගිය කලාපය මෙතැනින් කියවන්න - www.facebook.com/ithinmagazine/posts/2709091535847330
Comments
Post a Comment